Home / දෙයියෝ සාක්කි / රියැදුරුත් ගෝලයාත් නාගනිද්දී 40,000ක් අන්තරස්ධාන වෙලා

රියැදුරුත් ගෝලයාත් නාගනිද්දී 40,000ක් අන්තරස්ධාන වෙලා

2018-04-11 11:18:00       364
feature-top
එය රඹුක්කනට නුදුරු ගමකි. ගෙහිමි කාන්තාවකට තම නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගඩොල් තොගයක් මිලදීගැනීමට අවශ්‍ය විය. මහියංගණ ප්‍රදේශයෙන් ගෙනඑන වඩා හොඳ ගඩොල් මිලදීගත යුතු යැයි සිතූ ඇය එවැනි ගඩොල් අලෙවි කරන තැනක දුරකතන අංකය සොයාගෙන අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර එය රැගෙන ආපසු මුදල් ගෙවන බව දැනුම් දුන්නාය.

ඇගේ ඇණවුමට අනුව ලොරියකින් ගඩොල් තොගය නිවසට ගෙනැවිත් එහි පැමිණි තිදෙනෙක් එකතු වී එම ගඩොල් තොගය බිමට බෑවෝය. බා අවසන් වූ පසුව එක් පුද්ගලයකු කාන්තාව වෙත පැමිණ සබන් කෑල්ලක් ඉල්ලාගෙන ගොස් රියැදුරු අතටදී ඇඟපත සෝදාගෙන එන ලෙසට දැන්වූ නිසා රියැදුරු සහ සහායකයා ළිඳ දෙසට ගියහ. ඒ අතරතුර සබන් කෑල්ල ඉල්ලාගත් පුද්ගලයා ගෙහිමි කාන්තාව වෙත ගොස් ගඩොල් තොගයට මුදල් අවශ්‍ය බව පැවසීම නිසා නිවස තුළට ගිය කාන්තාව මුදල් රැගෙනවිත් ඔහු අත තබා නැවතත් ගෙය තුළට ගියාය.

ඇඟපත සෝදා ගැනීමට ළිඳ ළඟට ගිය රියැදුරු සහ රිය සහායකයා ආපසු පැමිණ සබන් කෑල්ල නිවෙස් හිමි කාන්තාව අතටදී ගඩොල් තොගයට පොරොන්දු වූ මුදල දෙන ලෙස ඉල්ලා සිටියහ. ඇය කීවේ ලොරියේ පැමිණි ගඩොල් බෑ අනෙක් පුද්ගලයාට එම මුදල් දුන් බවය.

වටපිට බැලූ රියැදුරුට එම පුද්ගලයා අතුරුදන් වී ඇති බව පෙනී ගියේය. රියැදුරුගෙන් දැනගන්නට ලැබුණේ එම පුද්ගලයා අතරමගදී ලොරියට අත අල්ලා නවත්වා ගඩොල් තොගය ගෙනයන්නේ තම සහෝදරියගේ නිවසට බව පවසා එයට ගොඩවූ බවය. ඔහු තමන්ට උදව්වට ගඩොල් බාන බව තමා සිතූ බවද රියැදුරාගෙන් දැනගන්නට ලැබුණු අතර, ඔහු තමා කිසිදාකත් දැක නැති පුද්ගලයකු බව ගෙහිමි කාන්තාව ද කීවාය.

ඇය අර පුද්ගලයාට දී ඇති මුදල රුපියල් 40,000කි. තමන් දෙදෙනාම සොරෙකුට අසුවී ඇති බව තේරුම් ගිය නිසා අවසානයේදී ඔවුන්ට පොලිසියට යාමට සිදුවිය. එහෙත් තවමත් සැකකරුවකු සොයා ගැනීමට හැකිවී නැත.



උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »