Home / දෙයියෝ සාක්කි / වතු හිමියාගේ ගල් පහරින් අඹ හොරාගේ හොද්ද බොරවෙලා

වතු හිමියාගේ ගල් පහරින් අඹ හොරාගේ හොද්ද බොරවෙලා

2017-12-14 10:52:00       118
feature-top
අනුන්ගේ ගෙවත්තක හොරෙන් අඹ කඩන්නට ගොස් වතු හිමියාගේ ගල් දුණූ පහරකින් තුවාල ලැබූ පුද්ගලයෙකු වතු හිමියාගෙන් රුපියල් පන්සියයක වන්දියකුත් රැගෙන ඔහුගේ වාහනයෙන්ම සිය නිවස බලා පැමිණි බව කියවෙන පුවතක් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ඔහු ප‍්‍රදේශයේ සාමාන්‍ය වැවිලිකරුවෙකි. යමක් කමක් ඇති ව්‍යාපාරිකයෙකි. ඉඳහිට විවිධ සමාජ විරෝධී වැඩවල ද නිරත වූවෙකි. අක්කර දහයක් පහළොවක් වූ ඔහුගේ අඹ වත්තේ සරුවට වැඩුණු අඹ ඵලදාව දුටු පුද්ගලයකු එදින උදෑසනින්ම වත්තට රිංගුවේ හොඳවෑයින් අඹ ගෙඩි හත අටක් කඩා ගැනීමේ අටියෙනි.

ඔහුට අඹ ගස මත රැඳී සිටීමට හැකිවූවේ  සුළු වේලාවකි. අඹ කොළ අස්සෙන් පැමිණි ගල් කැටයක් හිසේ වැදී ලේ ගලන්නට වූවේ ඔහුට දෙවියන් බුදුන් සිහි කරමිනි.

ගල් පහර නිකුත්වී තිබුණේ වතු හිමියාගේ අතෙහි වූ ගල් දුන්නෙනි. හොරාගේ කෑ ගැසීමත් සමගම එහි පැමිණි වතු හිමියා හොරාත් ඔහු අත වූ අඹ මල්ලත් සිය ග‍්‍රහණයට ගත්තේ ඔහුට නොසෑහෙන සේ දෙස් දෙවොල් තබමිනි. එයින් නොනැවතුණු හෙතෙම ඔහු පොලිසිය වෙත රැගෙන යන බවට ද තර්ජනය කළේ ඔහුගේ ලේ ගලන තුවාලය ගැන පවා නොසිතමිනි.

පරාජය පිළිගන්නට මැලි වූ තුවාලකරු ද ‘හොඳයි පොලීසි ගිහින්ම ප‍්‍රශ්නේ විසඳා ගනිමු’ යැයි ව්‍යාපාරිකයාගේ යෝජනාවට එක පයින්ම කැමැත්ත පළ කළේ ‘මම ඉස්පිරිතාලෙ නැවතුණ විට මුදලාලි කූඩුවේ දානවා’ යැයි ව්‍යාපාරිකයාට නීති උපදෙසක් ද ලබා දෙමිනි.

සැබෑවටම පොලීසි ගියහොත් කුමන අන්දමේ මරාලයක් හිසේ කඩා වැටෙන්නට බැරි නැතැයි සිතූ හෙතෙම අවසානයේදී හොරා අතට අඹ මල්ලත්, රුපියල් 500 ක නෝට්ටුවකුත් දුන් ව්‍යාපාරිකයා ළඟපාත ඩිස්පැන්සරියකින් ඔහුට ප‍්‍රතිකාර ලබාදී නිවසටම ගෙන ගොස් ඇරලූවේ ‘ආය එහෙම අඹ කඩලා අහුවෙන්න එපා’ යැයි පවසමිනි.



උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »