Home / දෙයියෝ සාක්කි / රූපවාහිනියේ ඇලුණාට සැමියා පාඩමක් උගන්වලා

රූපවාහිනියේ ඇලුණාට සැමියා පාඩමක් උගන්වලා

2017-11-20 11:04:00       175
feature-top
නිවසේ සියලු වැඩ පසෙක ලා එක පොකුරට පුංචි තිරයේ ටෙලි නාට්‍ය නැරඹීමට පුරුදුවී සිටි බිරියට අමතක නොවන පාඩමක් ඉගැන්වූ සැමියකු පිළිබඳව පුවතකි මේ.

මැදිවියේ කාන්තාවක් වූ ඇය දෙදරු මවකි. පුංචි තිරයේ ටෙලි නාට්‍යවලට වහ වැටී සිටි ඇය ඒ සියල්ල මග නෑර නැරඹුවේ නිවසේ සියලු කටයුතු අතපසු කරමිනි. හොඳින් නරකින් කුමන ආකාරයකින් ඒ ගැන පහදා දෙන්නට ඇගේ සැමියා කටයුතු කළ ද එකී කිසිවක් ගණන් ගත්තේ ඇය නොවේ.

පසුගිය දිනක කිසියම් අවශ්‍යතාවක් වෙනුවෙන් බිරිය සිය නිවසින් පිටව ගියේ හැකි විගස යළි නිවසට පැමිණෙන බව සැමියාටද දැනුම් දෙමිනි.

බිරිය නිවසින් නොපෙනී යනතෙක් බලා සිටි සැමියා සාලයේ තිබූ රූපවාහිනී යන්ත්‍රය සිය යතුරුපැදියේ ගැට ගසාගෙන පවනට බඳු වේගයෙන් එය පැදගියේ නගරයේ බෝතල් පත්තර වෙළෙඳසලටය.

මුදලාලි මේක ටිකක් පරණයි. හැබැයි හොඳට පේනවා. මෙන්න මේක තියාගෙන කීයක් හරි දෙන්න. ඔහු ඇඟට පතට නොදැනී කියා සිටියේ හිසේ වූ ලොකු බරක් බිම තිබ්බාක් වැනි හැඟීමෙනි.

රුපියල් 4000ට රූපවාහිනිය විකිණූ හෙතෙම බිරියටත් කලින් නිවසට පැමිණ කිසිත් නොවූවාක්සේ සාලයේ ඇලවී සිටියේ දෙන්නට උත්තරයක්ද පිළියෙළ කර ගනිමිනි.

මොහොතක් ගතවෙද්දී නිවසට ගොඩවූ බිරියට දැක ගන්නට ලැබුණේ සාලයේ තිබූ තමාගේ ලොකුම වස්තුව වූ රූපවාහිනී යන්ත්‍රය අතුරුදන්ව තිබූ අයුරකි.

“කෝ අනේ මෙතන තිබුණු ටීවී එක යනුවෙන් ඇය අසද්දී “ආ... ඒක මම එළියට ගියවෙලාවේ හොරු ගෙනිහින්” යැයි ඇඟට පතට නොදැනී කියා සිටියේ මුවගට නැගුණු මඳ සිනහවද යටපත් කර ගනිමිනි.

පැය කීපයක් ගතවෙද්දී සියල්ල දැනගත් බිරිය යක්ෂාවේශයෙන් හැසිරෙන්නටත් හඬා වැළපෙන්නටත් පටන් ගත්තද දින කීපයකට පසුව සියල්ල පහවී ගොස් ඇත.



උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »