Home / දෙයියෝ සාක්කි / පොලිසියෙන් ගැලවෙන්න නවාතැන් දුන් අයගේ නිවෙසත් ශුද්ධ කරලා

පොලිසියෙන් ගැලවෙන්න නවාතැන් දුන් අයගේ නිවෙසත් ශුද්ධ කරලා

2016-05-17 10:06:00       727
feature-top
අහිංසකයින් අත්අඩංගුවට ගන්නවා යයි කියමින් පොලිසියට බැන බැන සොරකුට පොලිසියෙන් වහන්වීමට සිය නිවසේ ඉඩකඩ ලබාදුන් පුද්ගලයාගේ නිවසද මේ හොරා පැය කිහිපයක් යන්නට මත්තෙන් බිඳ මුදල් හා රන්භාණ්ඩ සොරාගත් පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.

මේ වනවිට අබලන්ගොඩ හා ඒ අවට නිවාස පහළොවක් පමණ නිවැසියන් නැති අවස්ථාවෙන් බිඳ ඒවායේ තිබූ මුදල් හා රන් භාණ්ඩ සොරාගන්නා නම්දරා ඇති හොරෙකි. ඔහු සොරාගෙන ඇති මුදල් හා රන්භාණ්ඩවල  වටිනාකම රුපියල් ලක්‍ෂ පහකට වැඩි මිස අඩුවක් නම් නැහැ. මොහු අත්අඩංගුවට ගැනීමට සෙව්වත් කාලයක් යනතුරුම සොයාගැනීමට නොහැකිවී තිබිණ.

 දිනක් ඔහු සිටින තැනක් පිළිබඳව පොලීසියට තොරතුරක් ලැබුණේය. ඒ අනුව පොලීසිය එනුදුටු ඔහු ගාල කඩාගත්තු හරකෙකු මෙන් ඉතාමත් ජවසම්පන්නව පොලීසියට වඩා වේගයෙන් දිවගොස් අතුරු මාර්ගයකට අවතීර්ණ වී පොලිසියට නොපෙනෙන්නට නාඳුනන නිවසකට දිව ගියේය.

 ඔහු හතිලාගෙන දුවගෙන එනු දුටු නිවැසියා, මොකද මොකද මේ දුවන්නේ යයි ඔහුගෙන් ඇසුවේය. අනේ බලන්න කෝ, මම හෙල්මට් දාගෙන ගියේ නැහැ කියලා මම පස්සෙන් පොලීසිය පැන්නුවා. මම බයිසිකලය මගදාලා පැනලා ආවා යයි සොරා කීවේය.

 අනේ මෙහෙමත් පොලිසියක් ඉතිං අල්ලන්න පුළුවන් මේවගේ අහිංසකයින් විතරයි. මේ මුළු අම්බලන්ගොඩම ගෙවල් බිඳින හොරා තවම අල්ලගන්න බැරිවුණා යයි නිවැසියා කී විට ඔව් ඒකනම් ඇත්ත තමයි ඌ තාමත් නිදැල්ලේ. පොලිසිය අහිංසක අපි වගේ අය තමයි අල්ලන්න එන්නේ යයි කීවේය.
 හා හා අපේ කුස්සිය පැත්තට වෙලා ඉන්නවා. අද ගෙදරත් කවුරුත් නැහැ. මමත් දැන් වැඩ වගේකට අම්බලන්ගොඩට යනවා. එන්නේ තව පැය දෙකකට විතර පස්සේ. පොලිසිය ගියාට පස්සේ ඉතිං ගෙදර යනවා යයි කියමින් නිවැසියා ගෙදරින් පිටව ගියේය.

 සිය අවශ්‍යතාවන් ඉටුකර ගත් නිවැසියා යළි නිවසට පැමිණ බලනවිට නිවසේ අල්මාරියේ තිබූ මුළු ඇඳුම් ටිකම බිම දමා අල්මාරියේ දොරවල් ඇර තිබුණේය. හනි හනිකට ගොස් බලනවිට අල්මාරියේ තැන්පත් කර තිබූ මුදල් හා රන්භාණ්ඩ නොමැති බව දුටු ඔහුට තරු විසිවී ගියේය. සිය නිවස බිඳ මුදල් හා රන්භාණ්ඩ හොරකම් කළා යැයි කියමින් නිවැසියා පොලිසියේ පැමිණිල්ලක් දැම්මේය.

 මේ පිළිබඳව කවුද සැකකරන්නේ යයි නිවැසියාගෙන් පොලීසිය ප්‍රශ්න කළවිට ඔහු කීවේ, හෙල්මට් නැතිව ගියා කියලා පොලිසියෙන් පන්නනවා කියූ අයෙක් අපේ ගෙදරට ආවා. ඔහුට පොඞ්ඩක් හැංගෙන්න ඉඩදීල මම ගෙදර දොරවල් වහලා ටවුමට ගියා කියාය.

ඔයා අපිටත් බැණ බැණ අහිංසකයෙක් යයි කියලා ගෙවල් බිඳින හොරා ගේ අස්සේ දාගෙන හංගගෙන හිටියට හොඳ දඬුවමක් තමයි ලැබුණේ පොලිසිය කීවිට ඔහුගේ ඉහෙන් කණින් දාඩිය ගැලුවේ  ඉබේටමය.

අනේ මමත් කරලා තියෙන්නේ මහම මහ මෝඩකමක් යයි යටිසිතෙන් කියමින් පොලීසියට සිය නිවස හොරු බින්දා යයි කියමින් පැමිණිල්ලක් කොට යන්න ගියේය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »